බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි තුන්වැනි වර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ කැලණියට ය. ඒ කැලණියේ නාරජුගේ ආරාධනය පරිදියි. එම ගමනේදී සුමන කූටයෙහි සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ (ගාථා අංක 72-78) හි සඳහන් වේ.

.

නමදිමු මුනි සිරිපා

බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි තුන්වැනි වර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ කැලණියට ය. ඒ කැලණියේ නාරජුගේ ආරාධනය පරිදියි. එම ගමනේදී සුමන කූටයෙහි සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ (ගාථා අංක 72-78) හි සඳහන් වේ

ශ්‍රීපාද වන්දනා කාලය ආරම්භ වන්නේ උඳුවප් පුර පසොළොස්වක පෝය දිනයේදීය. මෙවර උඳුවප්පුර පසළොස්වක පොහොය දෙසැම්බර් මස 10 වැනිදාට යෙදී ඇත. මේ දිනයේ සිට ඊළඟ වසරේ එනම් 2012 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝය දා දක්වා වූ සමය ශ්‍රී පාද වන්දනා සමය ලෙසින් අප රටේ බෞද්ධයෝ සළකති. ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේ පුරාණ කාලයේ සිට පැවැත එන ආගමික චාරිත්‍ර රාශියක් ඉටු කරමිනි.
බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි තුන්වැනි වර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ කැලණියට ය. ඒ කැලණියේ නාරජුගේ ආරාධනය පරිදියි. එම ගමනේදී සුමන කූටයෙහි සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ (ගාථා අංක 72-78) හි සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ පස් වන සියවසේදී චීන ජාතික ෆාහියන් හිමියෝ ලංකාවට වැඩම කළහ. ඒ ක්‍රි.ව. 410 දීය. උන්වහන්සේ ලංකාවට වැඩම කළ ඒ කාලයේදීද බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම පිළිබඳව මෙරට ජනතාව අතර ආරංචි පැතිරී තිබුණි. ෆාහියන් හිමි ලක්දිව තැබූ සිරිපතුල් දෙකක් ගැන සිය වාර්තාවේ සඳහන් කරති. එයින් එකක් කඳු ශිඛරයකය. අනෙක උතුරේ රාජකීය නගරයේය.
ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩම කර එහි නිරිත දිග ප්‍රදේශයෙහි පිහිටි කන්දක සිට ලංකාවතාර සූත්‍රය දේශනා කළ බව ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසේදී ඉන්දියාවේ සංචාරය කළ තවත් චීන භික්‍ෂූන් වහන්සේ නමක් වූ හියුං ෂාං හිමියෝද සඳහන් කරති. එම සියවසෙහිම අග භාගයෙහි ලංකාවට පැමිණි වජ්‍ර බෝධි ශ්‍රීපාදය පිහිටි කන්දට නැග එහි භාවනා කළ බවද සඳහන් වේ. චීන වාර්තා අනුව මෙය සුමනකූට නම්වෙයි.

වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය
සිරිසමන් විජේතුංග - ශ්‍රී ලංකාවේ සිරිපතුල් වන්දනය පි.50 (2003)
මෙම සිරිපා සමය ආරම්භ වන උඳුවප් පොහෝ දින ඇරැඹෙන ආගමික චාරිත්‍ර අදියර කීපයකින් සමන්විත වෙයි.
1. පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල පන්සලේ සිදු කෙරෙන වතාවත්.
2. රත්නපුර මහ සමන් දේවාලයේ සිදු කෙරෙන පුද පූජා
3. සමනොළ කන්දේ සිදු කෙරෙන ආගමික චාරිත්‍ර

වසරක් පාසා වන්දනා සමය තුළදී සමන්ගිර කරා රැගෙන යන සමන් දේව ප්‍රතිමාව හා ධාතු කරඬුවද හින්දුන් විසින් වඳිනු ලබන පිත්තල ප්‍රතිමාවක්ද ශ්‍රී පාද වන්දනා කාලය අවසන් වූ පසු යළිත් එය එළඹෙන තුරු සමස්ත කාලයක් තැම්පත් කර තබනු ලබන්නේ පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රාජ මහා විහාරස්ථානයේ විශේෂයෙන් තැනූ කාමරයකය. සෑම වසරකම සිරිපා වන්දනා සමය උදාවන්නේ උඳුවප් පුර පසළොස්වක දා බැවින් මෙකී පූජාවස්තු ඊට පෙර දිනවන විට සමන්ගිර මස්තකයට රැගෙන යාම සිරිතය. මෙහි තිබෙන පූජා භාණ්ඩ අතරින් සියල්ලටම වඩා ඓතිහාසික වූද පුරාවිද්‍යාත්මක වූද පූජනීය වස්තුව වන්නේ අඩියක් පමණ උසැති සඳුන් දැව මුවා සමන්දේව ප්‍රතිමාවයි මෙම සමන්දේව ප්‍රතිමාව ඉතා විශාල සංඛ්‍යාවක ආභරණ වලින් සරසා තිබේ .ගෙලෙහි ලන ලද රන්දම්වැල් නිසා මේ ප්‍රතිමාවේ උඩුකය සම්පූර්ණයෙන්ම වාගේ වැසී තිබේ. මෙය නෙළා ඇත්තේ දෙපයින් සිටගෙන සිටින ආකාරයටය.
ශ්‍රී පාදය හා සමන්දෙවියෝ - ආචාර්ය ඊ.ඇම්. රත්නපාල – පි.102 (2001)
මෑත අතීතය පිළිබඳ සිරිපා වන්දනාවට අදාළව විමසා බලනවිට ඉඩකඩම් පවා තමන්ගෙන් පසුව අයිතිවන ඥාතීන්ට පවරා (නීතිය මගින්) යන වන්දනා කරුවන්ද අපේ පැරැණි ගැමි සමාජයේ සිටි බව අපට අහන්නට ලැබී ඇත. ඉතාමත් සාමූහික මෙන්ම කරුණාව පෙරටුකරගත් වන්දනා කරුවන්ගේ මුවින්ද නිතරම ගිලිහෙන්නේ කරුණාවයි, කරුණාවයි යන වචන සමග පුරාණ කවිද අසන්නට ලැබේ. නඩේ ගුණ , කිරිකෝඩු, සැහැල්ලුව ආදී වචන මේ සිරිපා වැඳීමේ වන්දනා ගමනේදී අසන්නට ලැබෙනු ඇත. සිරිපා වැඳීමට සමනොළ කන්දට නැගීම පවා හදුන්වන්නේ “ සිරිපා කරුණා කරනවා “ යනුවෙනි.

අප රටේ සිරිපා වන්දනාවේ යන පිරිස කොපමණ සංඛ්‍යාවක් යන්නේදැයි මෙකල දැක බලා ගැනීමට පුළුවනි.මේ තරම් පහසුකම් නැති කාලයේ එදා ශ්‍රී පාද වන්දනාව අපගේ මුතුන්මිත්තන් විසින් සමනොළ කන්ද මුදුනේ පිහිටි ශ්‍රී පාදය වන්දනා කිරීම අන් කිසිදු යුගයකට දක්නට නොලැබුණු තරමට පොළොන්නරු යුගයේ වැදගත් තතත්වයකට පත්ව තිබිණි. බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමන පිළිබඳ විස්තරයේ සුමනකූට පර්වතය පිළිබඳ මහාවංසයේ සඳහන් වන කාලයට පසුව මහවිජයබාහු රාජ්‍ය සමය වන තෙක් සමනොළ ශ්‍රීපාද ලාංඡනය ගැන තවත් කිසිත් සඳහනක් නො ලැබේ.
සමනොළ කන්ද හා සිරිපතුල දොළොස්වන සියවසට පෙර කාලවල පවා සිංහල බෞද්ධ ජනතාවගේ බුහුමනට පාත්‍රවී තිබුණු බවට අප සතු දැනුම ලැබී ඇත්තේ මනිමේඛලායි නමැති දෙමළ ග්‍රන්ථයෙන් හා ශ්‍රී ලංකාවට පැමිණි චීන භික්‍ෂූන් වහන්සේ (ෆාහියන්) හිමියන්ගේ ලියවිලි වලිනි. ශ්‍රී පාද ලාංඡනයට ඉඩකඩම් පූජා කළ ප්‍රථම රජු පළමුවන විජයබාහු රජුය. නිශ්ශංකමල්ල රජ තෙමේ සමනොළකන්ද නාග සිරිපතුල වැන්දේය.

සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසය – මහාචාර්ය සෙනරත්
පරණවිතාන සහ සී.ඩබ්ලිව්. නිකොලොස් පි. 369-370 ) සිංහල පරි. මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි – 2004 )
මහ විජයබාහු රජතුමාගේ අඹගම, සෙල්ලිපියෙහි ශ්‍රී පාද පුදබිම පිළිබඳව ඒ රජතුමා සිදු කළ දානයන් පිළිබඳවද මෙසේ සඳහන්වේ.
“ ඉන් අනතුරුව රජතුමා විසින් බුදු සිරිපා පිහිටි සමනොළ ගිරෙහි නවකම් කොට සිතියම් අද වා වෙනත් පිළිසකර කටයුතු කරවා දැල්වීම, පිණිස පහන් ඇතුළු වෙනත් දෑද පුද කරවීය. බුදුසිරිපා නැමදීමට සිව් දෙසින් වැඩම කරවන්නා වූ මහා භික්‍ෂු සංඝයාට යෝග්‍ය ආහාර හා වෙනත් දෑ සපයාදීමටද සිරිපා වැඳීමට වෙහෙසව පැමිණෙන ගිහිවන්දනා කරුවනට ආහාරපානාදිය සැපයීමටද දානශාලා පිහිටුවීය. රජ රටේ මාර්ගයෙහි ගව්වෙන් ගව්වට අවසන් ගව්පහේ සිය නමින් දාන ශාලා ද පිහිටුවීය. (ZPIGRAPHIA ZEYLANICA –VOL II –D.M.Z .Wickramasinghe –P. 210 –213 (1912-1927)
එපමණකින් නොනැවතුණු මහ විජයබාහු රජතුමා වියදම් සඳහා ගම්බිම් රාශියක්ද සිරිපා මළුවට පිදීය.අඹගමුව, කෙහෙල්ගමුව, තිනිගල සොරගොඩ, බදුලුවනය, ගම්පොල,උලපනේ ආදී සමීප ගම් රාශියක්ද එතුමා ශ්‍රීපාදයට පූජා කර තිබේ. මෙම විස්තර සඳහන් අඹගමුවේ ශිලා ලිපිය හමුවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩබුලත්ගම අකුරු කෙටූ කන්දේ වටකුරු ගල්දෙකකය.මහවිජයබාහු රජතුමා විසින් මුණිසිරිපා පුද බිමට කරන ලද පූජාවන් ගැන මහාවංශයේ මෙසේ සඳහන් වෙයි.
සමන්කුළු පව්වෙහි පිහිටි මුණිරජහුගේ පා සටහන වන්දනා පිණිස දුකසේ යායුතු මග යන්නා වූ මනුෂ්‍යයෝ සියල්ලෝම නොපෙළෙත්වති.දන් වැටුප් පිණිස හැල්කෙත් ආදියෙන් සමෘද්ධි වූ ගිලීමලය නම් ගමදෙවි,කෙසෙල් ගම් මගද, වෙන් වශයෙන් ගම දී ශාලාද කරවී. රජ තෙමේ අනාගත කාලයෙහි රජදරුවෝ ඒ ගම් නොගනිත්වයි අකුරු කොටවා ගල්ටැම්ද පිහිටවූහ.
මහාවංශය ප්‍රථම භාගය 60 පරිච්ඡේදය ගාථා 64-68 )
මෙම සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් සමනොළ ගිර මුදුණේ පිහිටුවන ලද බව වංශකතා සෑම එකකම දක්නට ලැබේ. ධාතුවංශයෙහිද මේ බව සඳහන් වී ඇත.
පොළොන්නරු යුගයේම මහපැරකුම් රජතුමාද (ක්‍රි.ව. 1153-1187) සමනොළකන්ද නාග සිරිපා නාග සිරිපාවැඳ සමන් දේවාලය ද එහි කරවීය.
සිරිපා වැඳීම සඳහා පොළොන්නරු රාජ සමයේදී ගිය තවත් රජකෙනෙකු ලෙසින් නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187-1196 ) රජතුමා සඳහන් කළ හැකියි. මහාවංසය මෙන්ම රාජාවලියද ඒ බව සඳහන් කරයි. නිශ්ශංකමල්ල රජතුමාගේ එම පුවත එතුමාගේ ශිලාලේඛන අටකම සඳහන් කර ඇත. පඬුවස් නුවර (පරාක්‍රමපුරය) ඇති මේ රජුගේ සිංහාසන ශිලා ලිපිය අනුව නිශ්ශංක මල්ල රජතුමා සිරිපා වැන්දේ රජුගේ නවවැනි රාජ වර්ෂයේ දුරුතු මස පුර පසළොස්වක දාය.
නිශ්ශංකමල්ල රජතුමා විශේෂිත වූ රජ කෙනෙකි. මේ රජු විසින්ම රජරුවක් සෙල්ලිපියකට ඇතුළත් කර ලැබිණි.
එය පිහිටියේද සමනොළ කන්දේය. සමනොළ කන්දේ රත්නපුර පාරේ පිහිටි බගවාලෙනෙහි දක්නට ලැබෙන සෙල් ලිපියේ පසෙකින් ඔහුගේ රුව කොටවා ඇත. එය නිශ්ශංක මල්ල රජු වැදගෙන සිටින අයුරින් නිරූපිතය.
රූපය අසළ “ නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමින් වහන්සේ පදලස දා වැන්ද සිටින නියායි” යනුවෙන් සටහන් කර ඇත.
(ලංකා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය 1 වෙළුම 2 කොටස පි. 545)
සිංහල රාජාවලිය පිළිබඳ සඳහන් කරනවිට පොළොන්නරු යුගයෙන් පසුව එළැඹි දඹදෙනි රාජ යුගයේද ප්‍රබල රජ කෙනෙකු වූද සාහිත්‍ය ධරයෙකු වූද (කව්සිළුමිණ කාව්‍යය ලියූ) දෙවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1236 –1270) සිව්රඟ සෙනග සමග මහවනය සිසාරා සිටි ජනපද පූජා කළ බව පූජාවලිය සඳහන් කරයි. දෙවන පරාක්‍රමබාහු රජුගේ දේවප්‍රතිරාජ ඇමතිතුමා කැඳවා සමනොළ ගිර පිහිටි සිරිපා වැඳීමට යන සැදැහැවතුන්ට එම මාර්ගය පිළිසකර කර දෙන ලෙසද සමන්දේව රුවක්ද කරවා එහි පිහිටුවන ලද බව පූජාවලිය සඳහන් කරයි (පූජාවලිය පි.810)
දඹදෙණි රාජ සමයේදී මාකෝ පොලෝ නම් සංචාරකයා සිරිපා පුද බිමට පැමිණි විදේශීය සංචාරකයෙකි. ඔහුගේ සංචාරක වාර්තාවල ඒ බව සඳහන් කර ඇත. ඉන්පසු කාලවල වූ කුරුණෑගලද ගම්පොල කෝට්ටේ, සීතාවක සෙංකඩගල ආදි පුරාණ රාජ යුගවලදී පමණක් නොව යටත්විජිත යුගයේදී පවා සිරිපා පුදබිමට නිසි ගරු බුහුමන් කිරීමට එකල පාලකයෝ සැදී පැහැදී සිටියහ.
සමනොළ කන්ද පිළිබඳව සඳහන් කරනවිට තුන්සරණේ කවි ගායනය ද අපගේ මතකයට නැගේ. ඉතාමත් සැදැහැවත් සිතින් සිරිපා කරුණාකරන අපේ බෞද්ධ ජනතාවගේ අති උතුම් පුදබිමක් ලෙසින් අනාගතයේදීද පවතිනු ඇත. මෙහි අදත් ඉර සේවය බැලීම සඳහා ජනතාව අලුයම් කාලයේ සැදී පැහැදී සිටින අන්දම දැක ගැනීමට පුළුවනි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
උපදේශක කමිටු සාමාජික
සිරිසමන් විජේතුංග