බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි තුන්වැනි වර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ කැලණියට ය. ඒ කැලණියේ නාරජුගේ ආරාධනය පරිදියි. එම ගමනේදී සුමන කූටයෙහි සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ (ගාථා අංක 72-78) හි සඳහන් වේ.

.

සමනල කන්ද

මුහුදු මට්ටමේ සිට අඩි 7360 ක් උසින් පිහිටි සමනල කන්ද එසේත් නැතිනම් ශ්‍රී පාදය සියලුම ආගමිකයන්ගේ ගෞරවයට ලක් වූ පූජනීය සිද්ධස්ථානයකි. මහාවංසය පවසන ආකාරයට සබරගමුවට අධිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ විසින් සිය වම් පා සලකුණ මේ කඳු මුදුනේ පිහිටුවා ඇත. වෙනත් ආගමිකයන්ගේ අදහස අනුව එම ආගමිකයන්ගේ ශාතෘන්වරුන්ගේ පා සලකුණ මේ කන්දේ පිහිටුවා ඇත.
විජයබාහු රජු ශ්‍රී පාදය වෙත යන්නන්ට හා එය ආරක්ෂා කරන භික්ෂූණ් වහන්සේලාට කළ සත්කාර ගැන ද මහාවංසයේ 60 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. ගිලීමලය ගම (වර්තමාන රත්නපුර මාර්ගයේ යද්දී හමුවන නගරයකි) ඒ සඳහා පූජා කර තිබේ. කෙසෙල් ගම් මග හා ඌව ගම් මග යන මාර්ග වලින් යන්නන් සඳහාද එවැනි ගම් වෙන්කළ බවත් වැඩිදුරටත් සඳහන් වේ. මීට අමතරව තවත් රජවරුන් ගණනාවක් යටතේ සිරිපා බිමට කළ පුද සත්කාර ගැන මහාවංසයේ වරින්වර සඳහන් වී තිබේ. මහපැරකුම්බා, නිශ්ශංකමල්ල යන රජවරුන් සිරිපා ගිර තරණය කර එය වැඳ පුදාගෙන තිබේ. ඉබන්බතූතා, පාහියන් වැනි දේශ සංචාරකයෝද සිරීපාද කන්දට නැග ඇත.
සිරිපා වන්දනා කිරීමේ වාරය සෑම වසරකම උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වී වෙසක් පොහොය දිනයෙන් අවසන් වේ. මේ මාස 6ක කාලය පුරා රත්නපුර - පලාබද්දල, එරත්න - කුරුවිට හා හැටන් යන මාර්ග 3 ඔස්සේත් තවත් එතරම් ප්‍රකට නොවු කැලෑ මාර්ග ඔස්සේත් දහස් සංඛාත පිරිසක් සිරිපා කරුණා කරති. සෙසු මාස 6ක කාලය අවාරය වශයෙන් හදුන්වන අතර එය වන්දනාකරුවන් නොයන කාලයයි. නමුත් වර්තමානයේදී මේ කාලයේත් යම් පිරිස් සිරිපා ගිර තරණයේ යෙදෙති.
එරත්න පාර මේ මාර්ග අතරින් වඩාත් දීර්ඝතම මාර්ගයයි. හැටන් පාර කෙටිම පාරයි. මේ මාර්ග 3 දීම සීත ගඟුල හමුවුවත් පිරිසිදු හා හොඳම ගඟුල හමුවෙන්නේ එරත්න මාර්ගයේදීය. හැටන් මාරගයෙන් යද්දී හමුවන ස්ථානයන් අතරින් ජපන් සාම චෛත්‍යය විශේෂ වේ. සංචාරක අත්දැකීමක් වශයෙන් ගත් විට එරත්න හා පලාබද්දල මාර්ගයන් වඩාත් අපුරු අත්දැකීමකට මගපාදනු ඇත. ලේසියෙන්, ඉක්මනින් සිරීපාදේ යන්න කැමති අයට නම් හැටන් සුදුසුම පාරයි.
කොයි පාරෙන් ආවත් උඩමළුවට එන ඕනෑම කෙනෙක් සිරිපතුල වැද පුදා ගැනීමෙන් පසුව දැකීමට කැමතිම දර්ශනය ඉර සේවයයි. ඒස‍ඳහා ඉර නැග එන වේලාවට මළුවට ගොස් සිටිය යුතු අතර සුදුසු වටපිටාවක්ද තිබිය යුතුය. අපි 2005 වසරේ ගත් මෙම ඡායාරූපයන් අළුයම ගත් ඒවා වුවද එදා ඉර සේව නිසි පරිදි දිස්වූයේ නැත. එක් පැත්තකින් ඉර නැග එද්දී අනිත්පස සිරීපාදයේ හෙවනැල්ල වැටී ඇති ආකාරයත් බැලීමට වටිනා දර්ශනයකි.
1940 ඔක්තෝම්බර් 25 වන දින ශ්‍රී පාද වන බිම අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම වන බිමට හෙක්ටයාර 22380 ක භූමි ප්‍රමාණයක් අයත් වේ.
නෝර්ටන් බ්‍රිජ් විදුලි බලාගාරය ඉදි කිරීමේදි වුන බාරයක් අනුව යමින් 1948 මාර්තු මාසයේ සිරිපා මළුවට විදුලි ආලෝකය ලබාදීමත් මෙම ස්ථානයේ මෑත ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි.

අපේ පරිසරය