බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි තුන්වැනි වර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ කැලණියට ය. ඒ කැලණියේ නාරජුගේ ආරාධනය පරිදියි. එම ගමනේදී සුමන කූටයෙහි සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ (ගාථා අංක 72-78) හි සඳහන් වේ.

.

ශ්‍රීපාදස්ථානය

පිහිටීම


ශ්‍රීපාදස්ථානය, ශ්‍රී ලංකාව.
ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්දු, මුස්ලිම් මෙන්ම ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ද පූජනීය වන්දනා ස්ථානයකි. ප්‍රධාන ජාතීන් 4ක් එකට වන්දනාමාන කරන එකම කන්ද ලෙස ශ්‍රීපාදස්ථානය හැදින්විය හැක. ශ්‍රීපාද කඳු මුදුනේ කළු ගල් කුට්ටියක එක සමාන පා සළකුණු දෙකක් දැකිය හැක. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති. ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.

නාමකරණය

ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා "ශ්‍රීපාද" යන නාමයෙන් මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි.බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද කඳු මුදුනේ උන් වහන්සේගේ සිරි පතුල සලකුණු කොට ඇත. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවය. ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ සමනළයන් උන්ගේ වාර්ශික සන්ක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා "සමන්ත කූට" යන නමින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. මීට අමතරව "රත්නගිරි", "ස්වර්ගරෝහනම්" යන නම් වලින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි.

ශ්‍රීපාදය කරුණාකිරීම


ශ්‍රීපාද කඳු මුදුනේ සෙවනැල්ල බටහිර තැනිතලාවට වැටී ඇති අයුරු
ශ්‍රීපාද කඳු මුදුනට නැගීම දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පඩි දසස් ගණනක් නැඟිය යුතු අතර කඳු මුදුනට නැගීමට පැය කිහිපයක් ගත වේ. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරකම උදුවප් පොහෝ දිනයේදීය. වෙසක් පොහෝ දිනයෙන් එය අවසන් වේ. අනෙකුත් මාස වලදි ශ්‍රීපාද කන්ද නැඟීම දුෂ්කරය. එම මාස වලදී ශ්‍රීපාද කන්දට අධික වැසි ඇද හැලෙන අතර තද සුළන් හා ඝන මීදුම පවතී. ශ්‍රීපාද කන්ද නැඟීම හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් පවති. පළමු වරට ශ්‍රීපාද නඟින වන්දනාකරු "කෝඩුකාරයා" ලෙස හඳුන්වන අතර ඔහු "සීත ගඟුල" යනුවෙන් හඳුන්වන දොළ පහරෙන් නාගත යුතුය. "ඉඳිකටු පහන" යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් සවිකර යති. කන්ද නගින අතර තුර සැදැහැවතුන් විවිධ ජන කවි ගායන කරති. කඳු මුදුනට නැඟුණු පසු තමන් ශ්‍රීපාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව එහි ඇති ඝාණ්ඨාරය නාද කරති.
රාත්‍රී කාලයේදී ශ්‍රීපාද කන්ද තරණය කීරීම අපූර්ව අත්දැකීමකි. විදුලි බුබුලු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙසයි. ශ්‍රීපාද වන්දනාකරුගේ අභිප්‍රාය වන්නේ සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැගීමය. "ඉර සේවය" නමින් ජන වහරේ මෙය හදුන්වන අතර කඳු මුදුනේ දී සූර්ය උදාව නැරඹීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. හිරු එළිය කඳු මුදුනට වැටී අවට තැනිතලා භූමියේ ත්‍රිකෝණාකාර සෙවණැල්ලක් පෙන්නුම් කරයි. හිරු ඉහළට නැඟීමත් සමගම සෙවනැල්ල වේගයෙන් පහතට ගමන් කරයි.

සබැඳි සාහිත්‍යය


ශ්‍රී පාදස්ථානය ගුවනට දිස්වන අයුරු

ක්‍රි.ව. 1909දී ශ්‍රී පාදස්ථානය දිස්වූ අයුරු
සමනොලගිර ,ශ්‍රිපාදය හා එය වැඳ පුදාගත් රඡවරු පිළිබඳ සඳහන් සෙල් ලිපි ගණනාවකි. මහාවංශය, දීපවංශය, චූලවංශය, ආදි වංශ කතාවල හා රාඡාවලිය,දඹදෙණි යුගයේ ලියඅවුණු සමන්ත කූට වර්ණාවේද කෝට්ටේ යුගයේ ලියැවුණු ග්‍රන්ථ ගණනාවකද දක්නට පුළුවන.
කෝට්ටේ යුගයේ ලියැවුණු සැලළිහිණි සන්දේශයේ සමනොළ කන්ද පිළිබඳ මෙසේ දැක්වේ.

සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැ නද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

අපේ සාහිත්‍යයේ සුවි‍ශේෂ අංගයක් වන ඡනකවි පිළිබඳ සැළකීමේදී ද සම්බුදු සිරිපා වන්දනාවට අදාළ ඡනකවි රා ශියක් ඇති බව පෙනේ. අපේ පැරැන්නෝ පිරී ඉතිරී ගිය ශ්‍රද්ධා භක්තියෙන්ශ්‍රී පාද වන්දනාවේ යෙදුණහ.සම්බුදු සිරිපා රැඳුණු සමනොළ කන්ද, සමන් දෙවියන් , තෙරුවන් ගුණ,ගමන්මගේ විශේෂ ස්ථාන ආදිය ඇතුළත් වු ඡනකවි වලට නිදසුන් කිහිපයකි.
බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හූනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොළ කන්ද
යන්ට හොඳයි තේවතු බල බලායේ
කන්ට හොඳයි පැණිරස අග්ගලායේ
ඉන්ට හොඳයි සීතල පිනි බබායේ
වැන්දොත් හොඳයි සමනොළ පිං පුරායේ

සිරිපා වන්දනාවේ මුල්කාලීන තොරතුරු වලට සිරිපා අඩවිය සොයා ගැනීම පිලිබඳව ඡනප්‍රවාද වල සඳහන් වන්නේ මේ විදියටයි.සිරිපා අඩවිය සොයා ගෙන තිබෙන්නේ භාතිය රඡතුමා රාඡ්‍ය පාලනය කරන කාලයේදීය.භාතිය රඡතුමාට ආවතේව කළ පුද්ගලයා හැඳින්වූයේ ‍"කොටා " යන නමිනි.භාතිය රඡතුමාගේ මල් උයනේ දවසින් දවස මල් අඩුවෙන්නට පටන් ගත්හ. කවුරු හෝ තම මල් වත්තේ මල් සොරකම් කරනවා යැයි රඡුට සිතිණි.රඡතුමා හොරා අල්ලන්න කොටා ට භාර කළා.දවසක් මල් උයනේ සැඟවී බලා සිටි කොටාට දකින්නට ලැබුණේ සුරංගානාවියෝ පැමිණ මල් කඩාගෙන යන බවයි.කොටාත් සුරංගනාවියෝ පසුපසම කඳු මුදුනට ගියා.සිරිපා අඩවිය සොයා ගෙන තිබෙන්නේඵ් විදියට බව ඡනප්‍රවාදයේ සඳහන් වේ. කෙසේ වෙතත් ඉතිහාසයට අනුව පළමු වෙන්ම සිරිපා වඳින්න පැමිණ ඇත්තේ ක්‍රී.පූ.29-17 අතර කාලයේදීය.ඵකල රඡකම් කළ වළගම්බා රඡතුමා ශ්‍රී පාද වන්දනාවේ යෙදුණි.ඵපමණක් නොව ශ්‍රී පාද යේ දියුණුවට ඉතා විශාල සේවයක්කළ බවත් වංශ කතා වල සඳහන් වේ.

බු. ව.236 වන විට ශ්‍රී පාදය පූඡනීය ස්ථානයක් බවට පත්වි තිබේ.පොෙළාන්නරු සහ දඹදෙණි යුගයන් වලදී ශ්‍රී පාද වන්දනාවට විශේෂ තැනක් හිමි වූ බව ඉතිහාසයේ සඳහන් වේ. සිරිපා වන්දනාව ගැන තොරතුරු සඳහන් වන පැරණිම සෙල් ලිපි දෙක පිහිටුවා තිබෙන්නේ මහා විඡයබාහු රඡතුමා විසිනි. "අඹ ගමුව" සහ "ගීලීමලේ' යන ප්‍රදේශවල පිහිට වූ මෙම සෙල් ලිපි පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් වෙයි.
19 සියවසේ අග භාගය වන විටත් සිරිපා වන්දනා ගමනෙහි තිබූ දුෂ්කර බවත් ,ත්‍රාස ඡනක බවත් "ටර්නර්" නැමති ලේඛකයා මේ විදිහට පවසයි.
"....................වන්දනා කරුවෝ නඩේ ගුරා අනුව කවි ගායනයේ යෙදෙමින් ගමනේ යෙදෙති.මාර්ගය රළුය, බිය ඡනකය,රුදුරු වන මෘගයන් ගෙන් ගහණය........."

19වන සියවසෙහිදී ශ්‍රී පාදය මස්කෙළියෙන් දිස්වූ අයුරු
සිරිපා වන්දනාවේ යන බැතිමත්හු යොදා ගෙන ඇති විශේෂිත වදන් කිහිපයකි. නඩේ, නඩේ ගුරා, කෝඩු, කිරි කෝඩු ,සැහැල්ලුව, හිමේ, කරුණාවයි, පේවීම, කට වරද්දා ගැනීම, කෝඩේ, අම්බලම, පද්මය ඉන් කිහිපයකි.වන්දනාකරුවෝ සිරිපා ගමනේදී එකිනෙකට සුමන සමන් දෙවිඳුන් ‍ගේ පිහිට ප්‍රාර්ථනා කරති. බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල, ශ්‍රීපාදස්ථානයට අරක්ගෙන සිටින සුමන සමන් දෙවියන් විසින් ආරක්ෂා කරගෙන කඳු මුදුනේ වාසය කරයි.
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්