බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි තුන්වැනි වර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ කැලණියට ය. ඒ කැලණියේ නාරජුගේ ආරාධනය පරිදියි. එම ගමනේදී සුමන කූටයෙහි සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ (ගාථා අංක 72-78) හි සඳහන් වේ.

.

සිරිපා කරුණා පුරාණය


ස්‌වභාව සෞන්දර්යයෙන් මන මෝහනය වන දැකුම්කළු හිමගිරි වන අරණ මැදින් නැඟී හිඳින විසල්ගිරි හිසකි. සිත් පත්ලේ කෞතුක හැඟීමක්‌ දනවන අසමසම එම ගිරිකුල, විහඟ නදීන් ගීතවත් වී ගලා බස්‌නා සොඳුරු මහ නදීන්ගෙන් සිසිල්ව හා හිරු කිරණින් නැහැවී අහසට යොමුවී දිදුලමින් බවුන් වඩමින් පසුවේ. භාවනාව යනු ස්‌වභාව ධර්මයේ මේ සෞන්දර්යය හා ඒකාග්‍ර වීමයි. වරක්‌ දුටු දැක්‌මෙන්ම යමෙකුගේ හිත ක්‍ෂණිකව පැහැරගත හැකි ගුප්ත ස්‌වරූපයකින් යුතු මේ ගිරිකුල අපට නොහැඟෙන සරයකින් සොඳුරු අතීත කවක්‌ පවසනු වැන්න. ඒ දැකුම්කළු ගතියෙන් යුත් නිසංසල අසමසම පර්වත මුදුනට බුදුන් වැඩ සමවත් සුවයෙන් ගතකළ නිසා සමනළකන්ද කියා ව්‍යවහාර විය. "ශ්‍රමණ ගෞතම" යන්න බුදුන් හැඳින්වූ ප්‍රකට, ප්‍රචලිත නාමයක්‌ ලෙස ගැනේ. ශ්‍රමණලය, සමණලය, සුමණකූට සමන්තකූට ආදී නම්වලින් අගවන්නේ බුදුන්ගේ පාද ස්‌පර්ශය ලැබූ සෙයින්ය. හාත්පසින් පිහිටා ඇති පර්වත නිසා මෙය "සමන්තකූට" නම් වූවා යෑයි ද, ප්‍රදේශ භාර සුමන දෙවියන්ගේ වාසස්‌ථානයයි සැලකෙන නිසා "සුමණකූට" නම් වූවා යෑයි ද ඇතැමෙක්‌ ප්‍රකාශ කළත් මේ පර්වතය පොදු වශයෙන් හඳුන්වන්නේ "ශ්‍රීපාදය" හෙවත් සමනල කන්ද ලෙසිනි. බෑණ සමනල යනුවෙන් හඳුන්වන්නේ (අගසව්වන්) එදා සැරියුත්, මුගලන් දෙනම සමවත් සුවයෙන් වැඩ සිටි තැනය. සමනල කන්ද දෙපස ඇති බෑණ සමනල සහ තුණුදිය පර්වතය යන කඳු දෙකේ ශිඛර එම "බුදුන්ගේ කන්දට" ශීර්ෂ ප්‍රණාමයෙන් ගෞරව දක්‌වන්නාක්‌ මෙන් ඒ දෙසට නැඹුරුව පිහිටා තිබීම මෙම ස්‌ථානයේ ඇති පාරිශුද්ධතාවට නිශ්චල කඳු පවා දෙස්‌ දෙතැයි පැවැසේ. සමනල වන අරණේ සුන්දරත්වය ගෙන එන එහි ගස්‌-වැල් පවා මෙම පුදබිම දෙසට නැමී නමස්‌කාර කරන ස්‌වරූපයෙන් පවතින බව "පාලි සමන්තකූට වර්ණනා කාව්‍යය" කියයි. එය එසේම නම්, සිලිසිලියේ සැලෙන හිමගිරි වන අරණේ අතුරිකිලි බැති මිහිරෙන් පිදෙන ශ්‍රී පාදයට ආසිරි සෙමර සලන්නා සේය.

* මුහුදු මට්‌ටමේ සිට ඇති උස (Elevation) :
   මීටර් - 2243m අඩි ( 7,359 ft)
* පිහිටීම (Location)  - සබරගමුව පළාත (Sabaragamuwa))
* කඳු වැටිය (Range) - සමනල (Samanala)
* සමක්‌ෂය (Coordinates) - 

මෙරට ප්‍රධානතම ඓතිහාසික පූජනීය ස්‌ථානයක්‌ වන මෙය මධ්‍යම කඳුනාරටියේ දකුණු බෑවුමේ සමන්තකූටයේ (සමනල කන්දේ) පිහිටා ඇත. ජාති ආගම් භේද නොවූ දේශ දේශාන්තර සීමා නොවූ විවිධ ආගමිකයන් නානාවිධ භාෂාවන් කතා කරන විවිධ ජාතීන් සුහදව එකමුතුව ගරු ගාම්භීරත්වයෙන් හා ගෞරව භක්‌ත්‍යාදරයෙන් වඳින - පුදින, අන් කවර පූජනීය ස්‌ථානයක දක්‌නට නොලැබෙන, අනන්‍යතා ලක්‍ෂණවලින් යුත් මෙවන් මනස්‌කාන්ත ගිරි ශිඛරයක්‌ ලොව ඇත්ද? මෙහි වන් සැමගේ සිත්සතන් භක්‌ති ප්‍රමෝදයෙන් ඇළලී යයි.

සමනල කන්දේ උස අඩි 7359 කි. දිවයිනේ සිව් මහා ගංගාවන් වන මහවැලි, කැලණි, කළු, වලවේ නදීන්ගේ උප්පත්ති ස්‌ථානයත් මේ සමනල කන්දය. උඳුවප් පොහොයත් සමඟ වෙසක්‌ පොහොය තෙක්‌ පවත්නා තවත් එක්‌ ගංගාවකි. එය, දිනෙන් දින ටිකෙන් ටික රැයක්‌a දවාලක්‌ නැතුව ගලන මිනිස්‌ ගංගාවයි. සමනල කන්ද එක්‌ පසෙකින් මැද පළාත හා අනික්‌ පසින් සබරගමුව පළාත ඇතත් ශ්‍රීපාදය අයත් වන්නේ සබරගමුව පළාතටය, රත්නපුර දිස්‌ත්‍රික්‌කයටය. අතීතයේදී සබරගමුව දිසාව වශයෙන් සලකන ලද ප්‍රදේශ, ඉපැරණි බෙදීම් අනුව අයත් වන්නේ රුහුණු හා මායා දෙරටටය. කළු ගඟ මෙම දෙරටේ සීමාව වශයෙන් තීරණය කර තිබේ.

සමනල කන්ද (සමන්තකූටය) ශ්‍රී ලාංකිකයන් අතර පමණක්‌ නොව විදේශිකයන් අතර ද ප්‍රසිද්ධියට පැමිණියේ එහි ආකර්ෂණීය උස හෝ වෙනත් භූමි ශාස්‌ත්‍රීය කරුණක්‌ නිසා නොව ආගමික වැදගත්කමක්‌ සම්බන්යෙනි. බුදුන් වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය එහි පිහිටා ඇතැයි බෞද්ධයෝ විශ්වාස කරති. අන්‍ය ආගමිකයෝ ද (සමන්තකූටයෙහි) සමනල කන්දෙහි ඇති ශ්‍රීපාද ලාංඡනය ඔවුන්ගේ ආගමික පූජා වස්‌තුවක්‌ යෑයි විශ්වාස කරති. ශෛව ආගමිකයන් ඒ පාද ලාංඡනය ශිව දෙවියාගේ පාද ලාංඡනය වශයෙන් විශ්වාසයක්‌ ගොඩනගාගෙන ඇත. සීතාවක පළමුවැනි රාජසිංහ රජු තමන්ට එරෙහිව පෘතුගීසීන් සමඟ කුමන්ත්‍රණය කළ භික්‍ෂූන් වහන්සේලාට දඬුවමක්‌ වශයෙන් ශ්‍රීපාදස්‌ථානය ශෛව ආගමිකයන්ට (ආඩින්ට) පවරා දුන්නේ මේ විශ්වාසය නිසා විය හැකිය. පළමුවැනි රාජසිංහ රජ සමයේදී ශිව භක්‌තිකයන් අතට පත්වන ශ්‍රීපාදස්‌ථානය යළි බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා අතට පත්වන්නේ වසර එකසිය පනහකට පසුවය. ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ට ශ්‍රී පාදස්‌ථානයේ භාරකාරත්වය පැවරීමෙන් පසු එහි භාරකාරත්වය පැවරෙන්නේ වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ සංඝ පරම්පරාවටය. එදා සිට මේ දක්‌වාම එම සංඝ පරම්පරාව එහි නොවෙනස්‌ව කටයුතු කිරීම අප මෙහිලා විශේෂයෙන් සිහිපත් කළ යුතුව ඇත. විෂ්ණු දෙවියාගේ අවතාරයක්‌ ලෙස දේවත්වයේ සැලකූ රාමගේ සොහොයුරු ලක්‍ෂමණගේ පාද ලාංඡනය ලෙස මෙම සමනල කන්දෙහි (සමන්තකූටයෙහි) පිහිටි පාද ලාංඡනය වෛෂණාවයන් විසින් සලකනු ලැබේ. ලක්‍ෂමණ සුමන (සමන්) දෙවි වශයෙන් ද ඇතැම් විට සලකනු ලැබේ. මෙකා නගරය (MECCA) ස්‌වකීය පාදස්‌පර්ශ්වයෙන් ශුද්ධ භූමියක්‌ බවට පත්කළ ආදම්ගේ පාද ලාංඡනය සමනල කන්දෙහි (සමන්තකූටයෙහි) තිබෙන පාද ලාංඡනය වන බව ඉස්‌ලාමීය භක්‌තිකයෝ විශ්වාස කරති. සුලෙයිමන් අබුෂහීඩ් නමැති අරාබි ජාතික බැතිමතා ක්‍රි.ව. 851 දී ශ්‍රීපාද වන්දනාවේ ගොස්‌ ඇති අතර ඔහු සමනල කන්ද (සමන්තකූටය) හඳුන්වා දී ඇත්තේ "අල්ලාගේ කන්ද" හෙවත් "අල්රූහන්" යන නමින්ය. ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු ලියා තබා ඓතිහාසික මූලාශ්‍රයක්‌ සැපයූ අරාබි ජාතික ඉබන් බතුතා ක්‍රි.ව. 1347 දී ශ්‍රීපාද වන්දනාවේ යෙදුන බව වාර්තාගතයි.

අතීත ලංකාවේ ප්‍රධානම අපනයන ද්‍රව්‍ය වූයේ මැණික්‌ය. ඒ නිසාම අතීතයේ සිට පිටරටවල ආකර්ශණීය ප්‍රසිද්ධියක්‌ ලබාගත් ශ්‍රී ලංකාවට හෙවත් (එදා) දියුණු වෙළෙඳ මධ්‍යස්‌ථානයට පැමිණීම තුළ රටේ විචිත්‍ර සමාජ සංස්‌කෘතික මෙන්ම ආගමික පරිසරයක්‌ නිර්මාණය වී තිබුණු බව පෙනේ. ශත වර්ෂාධික කාලයක්‌ තිස්‌සේ අගනා මැණික්‌ (නිල් - රතු) සොයා ඉන්දියන් සාගරය තරණය කළ අරාබි ජාතික වෙළෙඳුන්ගේ විශේෂ ගමන් අරමුණ වූයේ ලංකාවේ මැණික්‌ උපදින ප්‍රදේශය වූ රත්නපුරයය. මෙවැනි ගමන්වල මුල පිරුණේ සමනල කන්ද වැඳපුදා ගැනීමේ අටියෙන් යෝගී වෙස්‌ දරාගෙන ආ ඉස්‌ලාමීය ශාන්තුවරයන්ගෙනි. එසේ පැමිණ මැණික්‌ මිලදී ගැනීමේදී ඔවුන් සමඟ තරග කළ චීන වෙළඳුන් සහ ලංකාවාසී බෞද්ධයන් අතර පැවතුන ආගමික සම්බන්ධයෙන් චීන වෙළඳුන්ට ඇති වූ වාසිය මැනවින් කැපී පෙනුණි. ඔවුන්ගේ යටි අරමුණ ඉටුකර ගැනීම උදෙසා මුස්‌ලිම් ජාතික වන්දනාකරුවන් බහුල වශයෙන් අතීතයේ රත්නපුර හරහා ශ්‍රීපාදස්‌ථානයට ඇදී ආ බව පෙනේ. මැණික්‌ මිලදී ගැනීමේ තරගය වැඩි කලක්‌ නොගොස්‌ විදේශයන්හි ප්‍රකටව, ප්‍රචලිතව ප්‍රසිද්ධියට පත් වූ නිසා ඔවුන්ගේ ද නොමඳ වන්දනාවට ශ්‍රීපාද පද්මය ලක්‌වන ආකාරය පෙනේ. එසේ විදේශ වෙළඳුන් පැමිණීම තුළ ජාත්‍යන්තර ආගමික පරිසරයක්‌ නිර්මාණය වූ ආකාරයක්‌ ද පෙනේ. ශ්‍රීපාදස්‌ථානය ජාත්‍යන්තර ආගමික මධ්‍යස්‌ථානයක්‌ වන්නේ මේ ආකාරයටය.

කතෝලික බැතිමතුන් ද ආදම්ගේ පා සටහන එහි ඇතැයි විශ්වාස කොට "ආදම්ගේ කන්ද" යන අරුත දෙන "ඇඩම්ස්‌ පීක්‌" (ADAMS PEAK) වශයෙන් එය හඳුන්වති. සමහර පෘතුගීසි ලේඛකයෝ එහි තිබෙන්නේ ඉන්දියාවේ විසූ "ශාන්ත තෝමස්‌" නම් මුනිවරයාගේ පා සටහන බව විශ්වාස කළහ. අරාබි ජාතික වෙළඳුන්ගෙන් ලත් තොරතුරු අනුව ඇතැම් පෘතුගීසීහු මෙයට "පිකෝ ද ඇඩම්" (PICO DE ADAM) යෑයි ව්‍යවහාර කළහ. පුරාණ චීන ජාතිකයෝ ලොව ආදීම (ප්‍රථම) මිනිසා ලෙස ඔවුන් හැඳින්වූ "ජොකී" හෙවත් "පෝන්කූ" ගේ පා සටහන එහි ඇති බව විශ්වාස කළෝය. අප්‍රිකාව, ආසියාව ආදී මහාද්වීපවල වන්දනාකරුවකු වශයෙන් සංචාරයේ යෙදුණු ඉබන් බතූතාගේ ශ්‍රීපාදස්‌ථානය හා ඒ ආශ්‍රිත තොරතුරු දැක්‌වෙන වාර්තා මෙහිදී අතිශයින් වැදගත් වෙයි. මැණික්‌ කර්මාන්තය දැක ඔහු අපමණ ප්‍රීතියට පත්වී ඇති බව ඔහුගේ ලේඛන පිරික්‌සීමේදී පෙනේ. ඔහු දක්‌වන අන්දමට සිරිපා තරණයට මාර්ග දෙකකි. එකක්‌ බා බා මාර්ගය (ආදම්ගේ මාර්ගය) අනෙක්‌ මාර්ගය මා මා මාර්ගයයි. (ඒවගේ මාර්ගයයි) මා මා මාර්ගය ඉතා පහසුය. බා බා මාර්ගය ඉතාමත් දුෂ්කරය. එම මාර්ගයේ කඳු මුදුනට නැගීමට සවිකර ඇති දම්වැල් සංඛ්‍යාව දහයකි. (එවකට මහගිරි දඹේ තිබූ යකඩ දම්වැල් දහය ගැනයි මේ කියන්නේ) දහවන දම්වැල පසුකොට යායුතු වූ පටු මාර්ග ඔස්‌සේ ගමන් කළ විට "කදීර්" නමින් ලෙනක්‌ හමුවන වගත් ලෙන අසලම මසුන් පිරි විලක්‌ තිබුණද කිසිම වන්දනාකරුවකු මසුන් නොඅල්ලන වග වැඩිදුරටත් බතුනා විශේෂයෙන් සඳහන් කොට ඇත. සිරිපා සටහන ඔහු දක්‌වා ඇති ආකාරයට වියත් එකොළහක්‌ දිගය.

(සද්ධර්මරත්නාකරයෙහි එන පුවත අනුව දිගින් තුන් අඟුල් අඩු වඩු දෙරියනක්‌, එනම් අඩි 4 අඟල් 08 ක්‌ විය.) පා සටහන තුළ රන් - රිදී - මැණික්‌ පුරවා ඇත. පා සටහනේ මහපට ඇඟිලි ප්‍රදේශය ගලවාගෙන, ගොස්‌ චීනයේ සයිටුන්හි පන්සලක තබා ඇති වගද ඔහු තවදුරටත් පවසා ඇත. ඉබන් බතූතාගේ සිරිපා තරණය පිළිබඳ සඳහන් වන තොරතුරුවල සත්‍යතාවය මෙරට වෙනත් ඓතිහාසික ග්‍රන්ථ, කාව්‍ය, ජනකතා ආදිය මගින් තහවුරු වේ.

ශ්‍රී පාද ලාංඡනය වන්දනාමාන කිරීම පිළිබඳව යට දැක්‌වූ පරිදි පරස්‌පර විරෝධී පුරාවෘත්තාවල මුල්බැසගෙන තිබෙන නිසාම මැනවින් පෙනී යන්නේ "සමනල කන්ද හා ශ්‍රීපාද ලාංඡනය" ලෝකයේ බෞද්ධ සැදැහැවතුන්ගේ මෙන්ම විවිධ ආගමිකයන්ගේ නොමඳ ගෞරව සම්මානයට පාත්‍රව ඔවුන් විසින් ඉතිහාසයේ බොහෝ කාලය තුළ කරනු ලැබූ මහත් වූ වන්දනාව හා මහා භක්‌ති පූජාව වූවා සේය. ඒ තුළින් ජාත්‍යන්තර ආගමික පරිසරයක්‌ නිර්මාණය වී ජාත්‍යන්තර ආගමික මධ්‍යස්‌ථානයක්‌ වන්නේ මහින්දාගමනයටත් සියවස්‌ ගණනකට පෙර සිටය. සකළ විධි ආගම් තුළම සදාකාලිකව ගලා යා යුත්තේ මෛත්‍රිය හෙවත් ප්‍රේමයයි. ආදර සෙනෙහසයි. සිත් කෝපගන්වන, ආගමික, වාර්ගික, එසේත් නැතිනම් විවිධ වෙළෙඳපොළ බලවේග සමඟ එක්‌ව ක්‍රෝධය, වෛරය පමණක්‌ නොව අමානුෂික තරගකාරිත්වය විනාශ කොට සිත්සතන් තුළට ශාන්තිවාදය (ආනන්දය) ගෙන ආ යුතුව ඇත. අපේ රට පමණක්‌ නොව ලෝකයම යහපත් කිරීමට එම වෑයම ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වේ.

"ආරාධිකො සච්චක තාපසෙන
ආකාතුව සච්චක බද්ධසෙල
පාදර්ශ ලාඤජනං අකරිමුනින්ද
මයහං පි හොතං කරුණා තමෙසා"

මෙම ගාථාව සමන්තකූට වර්ණනාවෙහි තිබෙන්නකි. මෙහි තේරුම සච්චක නමැති තාපසයකුගේ ආරාධනාවෙන් සච්චබද්ධ පර්වතයෙහි ශ්‍රී පාද ලාංඡනය පිහිටවූ බවත් එබඳු වූ කරුණාවක්‌ අප කෙරෙහිත් දැක්‌විය යුතු යෑයි සුමන දෙවි ආරාධනා කළ බවත්ය.

බුද්ධත්වයෙන් 8 වැනි වර්ෂයේදී ලංකාවට තුන්වැනි වරට වැඩම කළ බුදුන්වහන්සේ කැලණියේ සිට සමන්කුලට වැඩ සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි එහි ඉන්ද්‍ර නීල මාණික්‍යයක්‌ මත සිය පා සලකුණ තැබූ බව මහානාම භික්‍ෂූන් වහන්සේ විසින් පස්‌වැනි සියවසේදී සම්පාදිතැයි සැලකෙන "මහා වංශයේ" සඳහන් වෙයි. ඊට පසුව එකොළොස්‌ වැනි සියවස තෙක්‌ ශ්‍රීපාද වන්දනාව ගැන නිශ්චය විස්‌තර කිසිවක්‌ වංශ කතාවලින් දැනගත නොහැකි වුවත් හයවැනි සියවසේ රචිත යෑයි සැලකෙන දෙමළ බෞද්ධ කාව්‍යයක්‌ වූ "මණිමේඛලායි" කෘතියෙන් සහ වෙනත් බාහිර මූලාශ්‍රයන්ගෙන් ශ්‍රීපාදස්‌ථානය ගැන කරුණු සොයා ගත හැකි බව විද්වතුන්ගේ මතයයි.

ගෞතම බුදුන්වහන්සේගේ පමණක්‌ නොව මේ කල්පයේ බුදු වූ කකුසඳ, කෝණාගම, කස්‌සප (කාශ්‍යප) යන අනිකුත් බුදුවරුන්ගේ සිරිපා සටහන් ද සමන්තකූට මස්‌ථකයෙහි තබා ඇති බව අඹගමුව ශිලා ලිපිය කියයි. කකුසඳ බුදුන් වහන්සේ සමන්තකූටයට වැඩි කළ සිරිලක හඳුන්වා දී ඇත්තේ "ඕජදීප" යනුවෙනි. ඉන්පසුව වැඩම කොට ඇත්තේ "කෝණාගම" බුදුන් වහන්සේය. එකල අප රට "වරදීප" නම් විය. තුන්වනුව ලොව පහළ වූ "කස්‌සප" බුදුන් වහන්සේය. එකල මෙරට "මණ්‌ඩදීපය" නම් විය. හතරවන වතාවට මෙහි වැඩියේ ගෞතම බුදුරජාණන් වහන්සේය. සියලු බුදුවරයන් ස්‌පර්ශ කළ හෙයින් මෙය "ශ්‍රී පර්වත" නම් වී යයි වේද ග්‍රන්ථ හෙළි කරති.

"අගසත්‍යර්ෂි භාෂිතයෙ"හි දැක්‌වෙන අන්දමට ගෞතමයන් වහන්සේ කලියුග වර්ෂ 2540 දී ඉන්දියාවේ (චෙන්නායි සිට තිරුපති දක්‌වා දුර ප්‍රමාණය සැ.90 යි) සච්ච බද්ධයට වැඩිය බවත් මාස තුනක්‌ එහි වැඩ සිටි බවත්ය.

උන්වහන්සේගෙන් දහම් අසා බොහෝ දෙනා පැහැදී බෞද්ධ වූ බවත් ඊළඟ වර්ෂයෙහි සිංහල දේශයට වැඩිය බවත්ය. මේ ස්‌ථානය සංස්‌කෘත ලිපිවල සඳහන් වන්නේ "ශ්‍රී පාද පුර" යන නාමයයි. කඳු හතක්‌ එකට බැඳී තිබෙන නිසා "සප්ත බද්ධ", "සප්ත ගිරි" යන නම් ව්‍යවහාර කරනවා විය හැකිය. ඒ ස්‌ථානයට දැන් කියන්නේ "තිරුපති" හෙවත් "තිරුමලෙයි" කියායි. මෙහි උස අඩි 3000 කි. බොහෝ කාලයක්‌ යන තුරුම බෞද්ධයන්ගේ පාලනය පිට පැවැති මේ ස්‌ථානය පසුව මුස්‌ලිම් පාලනයටත් ඊට පසු මෙකල හින්දු භක්‌තිකයන්ගේ පාලනයට යටත් වී පවත්නේය.

විදේශිකයන්හි රචිත ග්‍රන්ථවල ද ශිලා ලිපිවල ද බුදුන්වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය පිහිටූයේ සමන්තකූට මස්‌ථකයේ බව සඳහන් කරයි.

මධ්‍ය කාලීන යුගයේදී පවා කාම්බෝජය, තායිලන්තය, සියම ආදී විදේශීය රටවල බෞද්ධ මහජනතාව ද නියම ශ්‍රී පාදස්‌ථානය පිහිටියේ සමන්තකූට පර්වතයේ යෑයි පිළිගත් බවට සුබෝදයේ පිහිටි ශිලා ලිපියක්‌ මෙහිදී අපට වැදගත් වන අතර හයවැනි බුවනෙකබාහු රාජ්‍ය සමයේදී (15 ශ.ව.) පෙගු රටින් ලක්‌දිවට පැමිණි තානාපතීන් ද ශ්‍රීපාදය වැඳි බව දැක්‌වේ.

ක්‍රි.ව. 1055 රාජපදප්‍රාප්ත වී සොලීන් සමුල ඝාතනය කිරීමෙන් පසුව මුළු තුන් සිංහලය එක්‌ සේසත් කොට ක්‍රි.ව. 1110 දක්‌වා රාජ්‍යය විචාල පළමුවන විජයබාහු මහරජතුමාණන් විසින් ඉදිකරන ලද "අඹගමුව" ශිලා ලිපිය අපට වැදගත් වේ. පේලි 58 කින් යුත් එම ලිපියේ 1-21 දක්‌වා පේලිවලින් හෙළිවන්නේ පළමුවැනි විජයබාහු රජතුමා ලක්‌ සිහසුනට පත් වූ අයුරුත්, ඉන්පසු ද්‍රවිඩයන් සමූලඝාතනය කර ලංකාව එක්‌සේසත් කළ අන්දමත්ය. 21-58 පේළිය දක්‌වා වූ කොටසින් විස්‌තර වන්නේ රජතුමාගේ ශ්‍රීපාද වන්දනා ගමන ගැනය. පළමුවැනි විජයබාහු රජතුමා, සොළී ආධිපත්‍යයෙන් පරිහානියට පත් වෙහෙර විහාර යනාදිය ප්‍රතිසංස්‌කරණය කිරීමේ මහඟු කාර්යයේ යෙදුනේය. 

ශ්‍රීපාද වන්දනාවට යන වන්දනාකරුවන්ගේ ආහාර පානාදිය සඳහා මොහු ගිලීමලය ග්‍රාමයේ ආදායම තෑගි කළේය. එකල සමනලකන්ද මුදුනට (ශ්‍රී පාදස්‌ථානයට) යන මාර්ග තුනක්‌ තිබිණි. එනම්, 01. ගිලීමලය - පලාබද්දල හරහා සබරගමු මාර්ගය. 02. උලපනේ, වැලිගම්පල, අඹගමුව සහ කෙහෙල්ගමුව හරහා රජරට මාර්ගය. 03. ඌව සිට පැමිණි මාර්ගයන්ය. ශ්‍රීපාද කන්දට නැගිය හැකි මාර්ග තුනක්‌ වෙයි. හැටන් මාර්ගය, කුරුවිට මාර්ගය, හා රත්නපුර මාර්ගය යනුවෙන් ඒවා හඳුන්වන අතර මේ වන විටත් අප්‍රකටව පවතින මාර්ග කිහිපයක්‌ හරහා ද ඉතාමත් සුළු පිරිසක්‌ වන්දනා කිරීමට පුරුදු වී සිටී. ඒ කුමන මාර්ගයෙන් පැමිණිය ද හැටන් හා රත්නපුර යන මාර්ග දෙක උපයෝගි නොකර ගෙන මහගිරිදඹේ තරණය කළ නොහැකිය. විශේෂයෙන්ම රජරට මාර්ගයේ විජයබාහු රජතුමා විසින් දන්සල් පිහිටවූ බව අඹගමුව සෙල් ලිපියෙහි දැක්‌වේ. එමෙන්ම මොහු විසින් උඩමළුව වටා ප්‍රාකාරයක්‌ ද බන්දවා, ශ්‍රීපාද ලාංඡනය ආවරණය කරන ලදී. ශ්‍රීපාදස්‌ථානයේ වියදම සඳහා ගම්වර කීපයක්‌ ද මේ රජතුමා විසින් ප්‍රදානය කර ඇත. කුල හීනයන් සඳහා පහත මළුවක්‌ ඉදිකළෙත් විජයබාහු රජු විසිනි.

විජයබාහු රජුගේ මේ සද්කාර්යය තුළ 12 වැනි සියවස වන විට පොදුජනයාගේ ගෞරව බහුමානයට ශ්‍රී පාදස්‌ථානය පත්ව තිබූ ආකාරය පෙනේ. විජයබාහු රජුගෙන් පසුව මෙම පුදබිම ගැන උනන්දුවක්‌ දැක්‌වූ නිශ්ශංකමල්ල රජතුමා තුළ සිරිපා වැඳීම පිළිබඳ ඉමහත් භක්‌තියක්‌ තිබුණ බව පෙන්නුම් කරයි. පොලොන්නරුවේ සහ වෙනත් ඓතිහාසික ස්‌ථානවල දක්‌නට ඇති සෙල්ලිපි හැරෙන්නට රජරට මාර්ගයේ භගවාමුලෙන නමැති ස්‌ථානයේ ඇති සෙල්ලිපි දෙකක මේ රජතුමාගේ ශ්‍රීපාදස්‌ථානයේ ගමන් ගැන විස්‌තර කර ඇත. මේ සෙල් ලිපි දෙක හැරෙන්නට රජතුමාගේ රූසටහනක්‌ ද එහි තිබේ. එම රූ සටහන හඳුන්වා දී තිබෙන්නේ මෙසේයි. "නිශ්ශංක පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්‌වාමීන්වන්සේ පද ලස දා වැඳ බැස සිටි නියායි. II පැරකුම්බාගේ සිව්රඟ සෙනඟ පිරිවරා ශ්‍රීපාද කන්ද නැග සිරිපා වැඳ පුදා ගැනීමට ගොස්‌ ඇත. II පැරකුම්බාවන්ගේ පුත් වූ III වැනි විජයබාහු ද), කන්ද උඩරට රජ කළ වික්‍රමබාහු ද සමනල කන්ද නැඟ ශ්‍රී පාදස්‌ථානයට උත්කර්ෂවත් පුද පූජා කළ නරපතියන් දෙදෙනෙකි. සිරිපතුල වන්දනා කළ බවට ග්‍රන්ථාරූඪ වී ඇති ප්‍රධාන නරපතීන් සමහරක්‌ නම්, වට්‌ට ගාමිණී අභය (ක්‍රි.පූර්ව 24-17), සිව්වැනි මිහිඳු (956-972), මහා පරාක්‍රමබාහු (1153 - 1186), කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත පරාක්‍රමබාහු (1236-1271), හයවැනි පරාක්‍රමබාහු (1410-1468), දෙවැනි විමල ධර්මසූරිය (1687 - 1767), ශ්‍රී විජය රාජසිංහ (1739-1747) සහ රාජාධි රාජසිංහ (1780-1798) න්ය.

ක්‍රි.ව. 914 දී V කාශ්‍යප රජුගේ පුත්‍ර සක්‌ත සෙනවියාගේ බිරිඳ වූ වජිරා කුමරිය ශ්‍රී පාදස්‌ථානයේ මෙහෙණවරක්‌ කරවූ බවත් III උදය රජ දවස සොලීන් විසින් ශ්‍රී පාදස්‌ථානයේ තිබූ දාගෙයක්‌ විනාශ කළ අයුරුත් IV මිහිඳු එය පිළිසකර කළ ආකාරයත් මහා වංශය කියයි. ශ්‍රීපාදස්‌ථානය කලින් කලට පාලකයන්ගේ අවධානයට ලක්‌වී ඇති බව ද මෙයින් පැහැදිලි වේ. මහාදායිත මහානා රජතුමාගේ පාලන කාලයේදී කාශ්මීරය පාලනය කළ මේඝවර්ණාභ රජ ලක්‌දිවට පැමිණ ශ්‍රීපාද කන්ද නැග සිරිපතුල වැඳ පුදා ගත් බව තරංගනී නම් කාශ්මීර ඉතිහාස කාව්‍යය කියයි. එම රජවරුන් ශ්‍රී පාදස්‌ථානය වෙනුවෙන් ලබාදුන් අනුග්‍රාහකත්වය සාහිත්‍ය මෙන්ම පුරාවිද්‍යාත්මකව ද සනාථ වී තිබේ.

පසුකාලීනව මේ ආශ්චර්යවත් පුදබිම පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන විදේශික සංචාරකයන් අතර ඉන්දියාවේ අවුරුදු කීපයක්‌ නතරව සිට ක්‍රි.ව. 412 දී පමණ ලංකාවට පැමිණි පාහියන් නමැති චීන ජාතික වන්දනාකාර භික්‍ෂුව ස්‌වකීය දේශාටන වාර්තාවේ ශ්‍රී පාදය පිළිබඳව සඳහන් කරති. පාහියන් භික්‍ෂුව ඉන්දියාවට පැමිණියේ, දඹදිව ඉතිහාසයෙහි පමණක්‌ නොව, සංස්‌කෘත සාහිත්‍යයෙහි ද ස්‌වර්ණමය යුගය වශයෙන් හැඳින්වූ චන්ද්‍රගුප්ත රජුගෙ රාජ්‍ය කාලයේදීය. හේ ශ්‍රද්ධාවත් පාලකයෙකි. රටේ මනා පාලනයක්‌ පැවැති බවත් එහි බොහෝ බෞද්ධ සිද්ධස්‌ථාන වැඳපුදා ගත් බවත් පළ කරති. එම භික්‍ෂුවගේ වෘත්තාන්තයන්හි සඳහන් වන අයුරින් පෙනෙන්නේ බුදුසමය එතුළ දඹදිව බොහෝ පෙදෙස්‌හි පැතිර සිටි ලෙසකි. පාහියන් භික්‍ෂුව අවුරුදු දෙකක්‌ තරම් කලක්‌ අනුරාධපුරයෙහි නතරව සිටි බව මෙරට ඉතිහාස පුවත්හි සඳහන් වෙයි. 6 වැනි සියවසේ වැඩ සිටි හියුං සියෑං හිමියෝ තම දේශාටන වාර්තාවේ ශ්‍රී පාදය හඳුන්වන්නේ "ලංකා පර්වතය" නමන් යෑයි ද මහායානයේ සූත්‍රයක්‌ වන ලංකාවතාර සූත්‍රය බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කළේ මෙම ප්‍රියංකර සුවදායක ස්‌ථානයේ බව දක්‌වති.

12 වන සියවසේ මුල් භාගයේදී ලංකාවට පැමිණ සංචාරයක යෙදුන පෘතුගීසි ජාතික ගවේෂකයන් තිදෙනා සඳහන් කර ඇති කරුණු අනුව බුදුන් උපන් භාරත දේශයේ සිට දස දහස්‌ ගණනින් සැදැහැවතුන් වන්දනාකරුවන් මාර්තු - අප්‍රේල් මාසවලදී ශ්‍රී පාදය නැග ගෞරව භක්‌ත්‍යාදරයෙන් ශ්‍රීපාද පද්මය වැඳපුදා ගැනීමට පැමිණ ඇත. විශ්වාසය, ශ්‍රද්ධාව, භක්‌තිය යම කොටගෙන මහත් වූ දුර්ග මං ඔස්‌සේ දිවි පරදුවට තබා එදා වන්දනාව ඉතිහාසයේ බොහෝ කාලයක්‌ තුළ බෞද්ධයන් විසින් නොකඩවාම කරනු ලැබූ භක්‌ති පූජාව වූ බව පෙනේ.

මහින්දාගමනයට සියවසකට පෙර, මුටසීව රජ දවස, එනම් ක්‍රි.පූ. 4 වන සියවසෙහි ඉන්දියාව හරහා ඈත පෙරදිග චීනය දක්‌වා දිග්විජය කළ ග්‍රීසියේ මහා ඇලෙක්‌සැන්ඩර් අධිරාජ්‍යයා, බොල්නාස්‌ නමැති මන්ත්‍රකරුවෙක්‌ සමඟ ශ්‍රීපාදය වන්දනා කිරීමට එහි ගිය අයුරු ග්‍රීක ඉතිහාසයේ සඳහන් වේ. ඔහු පර්වත මුදුනට නැඟ තිබුණේ ගල්පඩි කප්පවා, නැගීමට ඉතාම අපහසු කොටස වන "අහස්‌ ගව්ව" හෙවත් "මහගිරිදඹය" පාමුල යකඩ දම්වැල් දෙකක්‌ ද මැද කොටසේ දම්වැල් හතක්‌ද නැගීමට අසීරු වූ උඩම කොටසේ එක දම්වැලක්‌ ද වශයෙන් දම්වැල් දහයක්‌ සවි කිරීමෙනි. මහගිරිදඹේ යකඩ දම්වැල් සහිත අත්වල ඉදිකරවූයේ ඔහු බව පර්සියානු ජාතික කවියකු වූ අෂ්රප් ද ඔහුගේ දේශාටන වාර්තාවේ සඳහන් කර ඇත. 13 වන සියවසේදී ලංකාවට පැමිණි මාකෝ පෝලෝ නමැති සුප්‍රකට ඉතාලි ජාතිකයා ද ශ්‍රීපාදය ගැන සඳහන් කර ඇති කරුණු අතර කැපී පෙනෙන්නේ ශ්‍රීපාදයට යන විට තරණය කිරීමට ඉතා අපහසු කොටස වූ, එනම් පොළවේ සිට ඉහළට හරි කෙළින් නැගී සිටින සමන්තකූටයේ ඉහළම කොටස වූ "මහගිරිදඹේ" සවිකර ඇති යකඩ දම්වැල් පිළිබඳ විස්‌තරයයි. සුවිශේෂී ආකාරයෙන් පිහිටි මෙම කොටස සැතපුම් ගණනාවක්‌ ඔබ්බේ සිට වුව පැහැදිලිව දිස්‌වෙයි. අද නොව එදා සමන්තකූටය, ඉන්දියානු සාගරය තරණය කර ඇත. පෙරදිග චීනය ආදී රටවලට ගිය බටහිර නාවික යාන්ත්‍රිකයන්ට මග සලකුණක්‌ව පැවැති බැව් වාර්තාගතයි.

රෝමයේ ක්‌ලෝඩියස්‌ රජුගේ තානාපතියකු ශ්‍රීපාදය හෙවත් සමන්තකූටය නැග එහි කිතුගොස අපරදිග පතුරුවා ඇත. අති රමණීය ගිරි ශිඛරයේ පිහිටා ඇති පුදබිම සම්බන්ධයෙන් ලංකාවේ සිරකරුවකුව (ක්‍රි.ව. 1660-1679) සිටි ඉංග්‍රීසි ජාතික රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරන්නේ ශ්‍රීපාද පද්මය බෞද්ධයන්ගේ අතිශය වැදගත් ස්‌ථානයක්‌ව පැවැති බවයි. මෙම පුදබිම සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන රොබට්‌ නොක්‌ස්‌ගේ වාර්තා ද ඉටුකරන්නේ අපමණ මෙහෙයකි. එසේම ශ්‍රීපාදය පිළිබඳ මෙතෙක්‌ පළවී ඇති ඓතිහාසික මූලාශ්‍රයන් ගැන සලකා බැලීමේදී මුහුදු යාන්ත්‍රික හා ප්‍රකට ඉතිහාසඥයකු වූ ජර්මන් ජාතික ජොහන් වුල්ෆ් ගාන්ට්‌ හයිට්‌ ක්‍රි.ව. 1734 දී ලංකාවට පැමිණ අවුරුදු 2 1/2 ක්‌ පමණ ලංකාවේ වාසය කරමින් මේ රටේ සිද්ධස්‌ථාන හා නටබුන් වෙත ගොස්‌ සියෑසින් දුටු දෑ පිළිබඳ ලියා ඇති සිත්ගන්නා සුළු පර්යේෂණාත්මක තොරතුරුවලට ශ්‍රී පාදස්‌ථානය ද ඇතුළත් වී තිබේ. හයිට්‌ගේ එම වාර්තාවෙහි අති රමණීය හිමගිරි අරණ තුළ පිහිටි ශිලා ලිපි 11 ක්‌ ගැන සම්පූර්ණ විස්‌තර දක්‌වා ඇත. සමනල කන්ද හා ශ්‍රීපාදස්‌ථානය ගැන චමත්කාරජනක ග්‍රන්ථයක්‌ ලියා 1870 දී පළ කළ ඉංග්‍රීසි ජාතික ග්‍රන්ථ කර්තෘවරයකු වූ විලියම් ස්‌කින් නමැති පඬිවරයා (ශ්‍රීපාද කන්ද) සමනල කන්ද පමණ ප්‍රසිද්ධියට හා සම්මානයට භාජන වූ තවත් එකද කන්දක්‌ මේ ලෝකයෙහි නැතැයි ලියා ඇත. 1220 දී පමණ චීනයේ සිට පැමිණි වැනීසියානු ජාතික මාකෝ පොලෝ ද සමනල ගිර නැඟ සිරිපා වැඳ වාර්තා තැබීමට අමතක නොකළ අයෙකි. අරාබි නිසොල්ලාසයේ එන සිංබෑඩ් කවියාගේ කන්දරවල ද "ශ්‍රීපාදය" ගැන සඳහන් වේ. එවකට බ්‍රිතාන්‍ය යටත් විජිත මහලේකම්වරයකු වූ එමර්සන් ටෙනන්ට්‌ නමැති සුප්‍රකට යුරෝපීය ගත් කතුවරයා ලෝකයේ ඇති ඉතාමත්ම ආශ්චර්යවත් දර්ශනයක්‌ ලෙස හිමගිරි වන අරණේ සෞන්දර්යය හඳුන්වන අතර මෑත සාගරයක්‌ ගොඩබිමත් එකවර නෙතට ගැටෙන අඛණ්‌ඩ දසුනක්‌ ලෙසින් දැකිය හැකි වෙනත් කඳු මුදුනක්‌ නැතැයි ලියා ඇත.

බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩි එකල බොහෝ දෙනෙක්‌ වන්දනා ගමන් යැමේදී වෙහෙස මහන්සිය මඟහරවා ගැනීම ද බොදු බැතිය ප්‍රකාශ කිරීම ද ආරක්‍ෂාව ද අපේක්‍ෂාවෙන් භාවිත කරන පද්‍ය කාව්‍යයක්‌ අපට ඇත. වන්දනා කවිපොත් අතර මුදුන් මල ලෙස පිළිගනු ලබන එය "තුන්සරණය" නමින් හැඳින්වේ. "තුන් සරණය" ඇති තැන කිසිවෙකුත් බිය විය යුතු නැතැයි යන හැඟීම සිරිපා වැඳපුදා ගැනීමට යන කොයි කා තුළත් අද දක්‌වාම පවතින්නේ බෞද්ධයා තුළ තෙරුවන් කෙරෙහි ඇති විශ්වාසය තීව්‍ර කරමිනි. තුන්සරණය පිළිබඳව නොඇසූ නොදත්තෙත් අප අතර විශේෂයෙන් බෞද්ධයෝ අතර ඇතැයි සිතිය නොහැකිය. මන්ද, එය ඒ තරමටම ජන හදවත්වලට සමීප වූවකි.

තුන් සරණයට වස්‌තු වී තිබෙන්නේ "ධම්ම පදට්‌ඨ කතාව" වැනි ග්‍රන්ථවලට ඇතුළත් බෞද්ධ කතාත්, බුදු ගුණත්ය. සසුන පිරිහී ගිය අවදියක බොදු බැතිය වඩවනු පිණිස රචිත මෙහි කව් 127 ක්‌ ඇත. මහනුවර අවදියේ දෙවන රාජසිංහ රජු කළ (ක්‍රි.ව. 1634-1684 අතර කාලය තුළ) ලියවුණු බව පෙනේ. බොහෝ ජනකවියන් මෙන් මොහුද ප්‍රසිද්ධිය පිටු දැක ඇති නිසා නම සඳහන් නොකරයි. තුන්සරණය කෘතියෙහි කතුවරයා පිළිබඳ එන 10, 11, 12 පද්‍යවල එන විස්‌තරවලට අනුව මෙහි කතුවරයා තාඹුගල නම් ගමේ උපන් අයෙකි. විවිධ ජාතක කතා ආදිය පිළිබඳව කතුවරයා (ඔහු) තුළ වූ දැනුම මින් පිළිබිඹු වන අතර ගැමියකු වූ හෙතෙම බණ දහම පිළිබඳ අවබෝධයකින් යුතු බොහෝ ඇසූ පිරූ තැන් ඇති බුද්ධිමතකු වූ බව පෙනෙන අතර කවියා තුළ වූ නිර්ව්‍යාජ කවිත්වය හා උපමා යෙදීමේ දක්‍ෂතාව අපූර්ව වූවකි. තුන්සරණය භක්‌ති කාව්‍යයක්‌ මෙන්ම ජන කාව්‍යයක්‌ වශයෙන් ද උසස්‌ තැනක්‌ ගනියි. බෞද්ධයන්ගේ හදවත ඇතුලාන්තය ස්‌පර්ශ කරන තුන් සරණයෙහි එන කවි අද පවා වන්දනා ගමන්වලදී පළපුරුදු එක්‌ අයකු විසින් ශබ්ද නගා (ඉතා උස්‌ හඬකින්) කියවන කවි සෙසු පිරිස විසින් එකවර සමූහ වශයෙන් නැවත එක පද්‍ය පාදයක්‌ තුන්වර බැගින් ගයනු ලබන අතර හද පිරුණු බොදු බැතියෙන් යුතුව කෙරෙන මෙම ගායනා අසන්නන් තුළ ද මහත් භක්‌තිය දැනවීමට සමත් වෙයි. සෑම කවකින්ම බුදුගුණ වර්ණනා වෙත්ම, ජාතක කතා හෝ බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිද්ධීන් සඳහන් වීම උපාසක උපාසිකාවන්ගේ ප්‍රසාදයට හේතු වන විශේෂ කරුණකි. තුන්සරණයට ඇතුළත් වන කවි හඬ නගා කීමට පහසුය. වැඩි උගත්කමක්‌ නැතිව වුවද අර්ථය වටහා ගත හැකිය. කර්තෘ සිර භාරයේ සිටිය බවත් සාමාන්‍ය මතයයි. එහි එකොලොස්‌වන කවෙහි සඳහන් "අඳුරෙක ඉඳ මෙකල" සහ දහතුන්වන කවෙහි සඳහන් "ඉර හඳ නොදැක ඉඳ" යනුවෙන් සඳහන් වනුයේ කර්තෘ සිරභාරයේ සිටිය බවත් සිතිය හැකිය. තුන්සරණය ලියන වකවානුවෙහි අන්ධයකු ලෙස සිටි බව විචාරකයෝ පවසති. "දෙනෙත් දෙකට කිසි දුකක්‌ නොවේවාෘ යි" යන්න අනුව ද ඔහු අන්ධයකු වූ බව තවදුරටත් සිතිය හැකිය. බෞද්ධ ගැමියන්ගේ එදිනෙදා ජීවිතයට හා පරිසරයට ඉතාමත්ම සමීප වූ යෙදුම් මෙහි වීම නිසා ඉතා අගේ කොට සැලකිය හැකිය.

බුදුගුණ වර්ණනා කරන එක්‌ කවක්‌ අවසන් වන්නේ තුන්සරණය සතහට මව් කෙනෙක්‌ වැන්න යනුවෙනි. (අම්මා වැනි සතහට තුන් සරණේ) ළිඳක්‌ කපා උල්පත දුටු ලෙසිනේ" යන්න මුනිගුණ කීමෙහි කෙළවරක්‌ නොමැති බව කීමට ඔහු යොදාගත් අතිශයින්ම උචිත උපමාවකි. "වෙහෙරට රන් කොත", "අඳුරට පානකි", "අහසට ඉර සඳ" ලෙසින් තුන් සරණය ජීවිතයට ආලෝකය ලබා දෙතැයි කවියා කියයි. මෙවැනි යෙදුම් මෙහි සුලභව දක්‌නට ඇත. එයින් ද ප්‍රධාන කීපයක්‌ නම් "සඳුන් රුකකි. සැමටම තුන් සරණේ", "මහ මුහුදට වැඩිවද තුන් සරණේ", "අඳුරට පානකි බණ තුන් සරණේ".

ජන සාහිත්‍යයට දැඩි ලෙස කි¹ බැස, ජන හදවත්වලට ඉතාම සමීප වූ තුන් සරණ කෘතිය අවසනයෙහි පොත ලිවීමෙන් අතිවිශාල කුසල සම්භාරයක්‌ තමා රැස්‌කර ගත් බවට දැඩි ආත්ම විශ්වාසයකින් ඔහු තමන්ට මෙම ජාතියෙහි නොලැබුණු යස ඉසුරු ධන ධාන්‍ය ආදී සම්පත් මතු ජාතියේදීවත් ලැබේවාෘයි කෙරෙන ප්‍රාර්ථන ද එක්‌ එක්‌ පින්වන් වාසනාවන්ත පුද්ගලයන් ලෙස මතු උපදින්නට ලැබේවාෘයි කෙරෙන පැතුම ද දෙවි දේවතාවුන්ට පින් පැමිණවීම ද රටේ උවදුරු දුර්භික්‍ෂ දුරුවේවාෘයි යන්න හා නිවන් ලැබීමට කරන ප්‍රාර්ථනා මීට ඇතුළත්ය.

ශ්‍රීපාද වන්දනාව හා බැඳෙන තවත් එක්‌ ක්‍රියාවක්‌ නම් ඉර සේවය නැරඹීමයි. හිරු ඈත අහස්‌ තලයෙහි විලිලා මතුවීමේ අසිරිය ඉතා හොඳින් දෑස පුරා දැකගත හැකි තැන (ස්‌ථානය) වන්නේ ද සමනල කන්ද (ශ්‍රීපාද කන්ද මුදුන) මුදුන වීම විශේෂත්වයකි. අලුයම හිරු උදාවන විට උඩ මළුවේ සිට එය බලා සිටින්නෙකුට පෙරදිග අහස ක්‍රම ක්‍රමයෙන් රත්පැහැ ගැන්වී මඳ වේලාවකට පසු හිරු එක්‌තරා චලනයක්‌ ද බැතිමතුන්ගේ සාධුකාර නාදයත් සමඟ එක්‌වරම මතුවන්නේ ශ්‍රීපාදස්‌ථානයට නමස්‌කාර කරන්නාක්‌ මෙනි. ඉර සේවය නරඹා සියලු පිළිවෙත් අවසානයේ තමන් එහි වැඳ පුදා ගැනීමට ගිය වාර ගණන, ගණනය කර ඝාණ්‌ඨාරය නාදකර ඒමට ඔවුහු අමතක නොකරති.

ඒ. කේ. ඩබ්ලිව්. පෙරේරා
 2011 පෙබරවාරි 02 බදාදා දිවයින